Wednesday, August 2, 2017

Auto Arte Italiana 2017


9 ශ්‍රී 5333 එක්ක නිදහස් මාවත පැත්තෙන් ඇවිත් දකුණට දාලා රේස් කෝස් එක පැත්තට යන්න හරවද්දී මට මීට අවුරුදු 5 කට විතර කලින් ගංගාරාම පන්සල කිට්ටුවදී Fiat 127 2 door එකක් දැකපු දවස මතක් වුණා.

ඒ දවස් වල මම මගේ පළවෙනි බීට්ල් එක වුණු 3 ශ්‍රී එක අරගෙන ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්න හැටි ගැන ප්‍රායෝගිකව ඉගෙනගනිමින් හිටියේ. එතකොට කොහොම හරි බීට්ල් එකක් ගොඩදාගන්න ආසාව මිසක් පොදුවේ කාර් පිස්සුවක් කියන්න තරම් දෙයක් මගේ හිත ඇතුළේ තිබුණේ නැහැ. ඒ දවස් වල ඔෆිස් එකකට යන්න එන්න අවශ්‍ය වුණු රස්සාවක් කරපු නිසා මගේ නිර්මාණශීලී චින්තනය ගොරෝ ගොරෝ බුදියගෙන හිටියේ.

ඔය අතරේ දවසක් හවසක අලුත් පාර පානදුර බස් එකක නැගලා ගෙදර එන්න එද්දී තමයි මම ඔය Fiat 127 2 door එක දැක්කේ. ඒක දැක්ක ගමන් මගේ හිත ඉස්සරලාම ඔරිජිනල් තායි ෆ්‍රයිඩ් රයිස් එකක් දැක්ක දවසේ වගේ පෙරේත වෙලා ගියා. ඒකෙ පිටිපස්සේ ගහලා තිබුණේ 127 ඉලක්කම් තුන විතරයි. එදා මම ගෙදර ආවේ කොහොම හරි ෆියට් 127 දොර දෙකේ එකක් ගන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා හිතාගෙනයි.



ඒ වුණාට ගෙදර ඇවිල්ලා ඉන්ටනෙට් එකේ වැට අයිනේ වැටමාර කෝට්ටකට ටුකුස් ගාලා නියපිටින් තට්ටු කරනකොටම මට තේරුණා Fiat 127 2 door කියන්නේ ඔය කාක්කෝ ගෙනත් දාන මාළු වරල් වගේ අහසින් වැටෙන ඒවා නෙමෙයි කියලා. අනික් අතට ලංකාවේ වැඩි අමාරුවක් නැතුව හොයාගන්න පුළුවන් දොර 4 127 ඒවා ටිකත් හීනමානනීය ෆයිබර් පොල්කටු එල්ලලා පුල් මොඩිපයි කියන මොඩිපයියලාගේ ආක්‍රමණයට ලක්වෙලා කියලා මට තේරුණා. ඒ නිසා කවදා හෝ දවසක ෆියට් 500 හෝ 600 එකක්ම ගන්නවා කියලා හිත හදාගෙන මම මගේ ඉතාලි කාර් ප්‍රාර්ථනා මැද්දට බුක් මාක් එකක් තියලා වහලා පැත්තකින් තිබ්බා.

එහෙම පැත්තකින් තියපු ඉතාලි හීන පොත ආපහු ටිකක් විතර පෙරලුණේ අලුත් කාර් බ්ලොග් එකේ ෆියට් ගැන ලියපු ලිපියට පස්සේ ඒ ගැන ගිෂංක ද සිල්වා දක්වපු ප්‍රතිචාරයත් එක්කයි. ගිෂංකට අලුත් ෆියට් 500 අබාත් එකක් තියනවා. බීට්ල් එකේ අලුත් එකටවත් ඒ හැටි මනාප නැති මම ෆියට් 500 එකේ අලුත් වර්ෂන් එකට හරිම ආසයි. අනික් අතට Abarth බැජ් එක ආවම අර මර්සිඩීස් වල AMG බැජ් එක වගේ හිත කිළිපොලා යන මෙව්වා එකක් එනවා නේ. ඉතිං ගිෂංක එක්ක කතාව පටන් ගත්තට පස්සේ මම ආපහු ඉඳහිටක ඉතාලි කාර් වල දුකසැප හෙවුවා බැලුවා. නමුත් ගොඩක් ඉතාලි කාර් ලෝලීන්ට වගේ Alfa Romeo එක්ක ප්‍රේමයෙන් බැඳෙන්න නම් මට කවදාවත් පුළුවන් වුණේ නැහැ.

ගිෂංක ගේ කාර් එක

මෙහෙම පසුබිමක් තියෙද්දී තමයි මම දැනගත්තේ ලංකාවේ Italian Car Enthusiasts Club එක Auto Arte Italiana 2017 සංවිධානය කරලා තියන බව. මේකේ ප්‍රචාරණ කටයුතු ටික ගිෂංක මෙහෙයවන බව දැක්ක නිසා මම ගිෂංක එක්ක සංවාදයක් ඇදගෙන මේ ගැන කාර් පිස්සුවෙ කට්ටියත් දැනුවත් කළා. එහෙම කරලා තමයි පහුගිය ජූලි 30 ඉරිදා රේස් කෝස් එකේ හවස 2 ඉඳන් 6 වෙනකල් තිබුණු මේ ප්‍රදර්ශනේ බලන්න ගියේ.

මීට කලින් මම ගිය හැම කාර් ෂෝ එකකම මට අත්‍යන්ත ප්‍රේමයක් තිබුණු කාර් විසිපහක් තිහක් තිබුණා. හැබැයි මේ පාර මට යන්න කලින් ඉඳන් හිතේ එක්පෙති දෙපෙති මල්ටිපෙති දාපු ආල සෙනෙහස් මලක් පීදිලා තිබ්බේ නෑ. මේ පාර මම ගියේ හුදෙක් car enthusiast කෙනෙක් විදිහට මිසක් Italian car enthusiast කෙනෙක් විදිහට නෙමෙයි. ඒ නිසා ඇත්තටම මට ඒක විශේෂ අත්දැකීමක් වුණා. කොටින්ම රේස් කෝස් එකේ කාර් පාක් එකේ මගේ බීට්ල් එක නවත්තලා බැහැලා ප්‍රදර්ශනේ තියන ඉසව්වට යද්දී පවා මගේ ඔලුවේ තිබුණේ කාර් පිස්සුවෙ දාන්න ෆොටෝ ටිකක් ගන්න ඕනේ කියන එක සහ ගිෂංකගේ කාර් එක ළඟ ඉඳලා ෆොටෝ එකක් ගන්න ඕනේ කියන එක විතරයි. ඊට අමතරව කාර් පිස්සුව හරහා මාව අඳුරගත්තු කොල්ලෝ කෙල්ලෝ මගදී හමුවෙනවට මම ගොඩක් කැමති නිසා එහෙම කෙනෙක් දෙන්නෙක් හමුවුණොත් හොඳයි කියලා හිතහිතා තමයි මම ගියේ.

රේස් කෝස් එකේ කාර් පාක් එක
ප්‍රදර්ශනේ බලන්න ආපු ජගුවර්, ලෑන්ඩ් කෲසර්, මිනි, BMW, බෙන්ස්, Porsche, සුබාරු STi, ලාන්සර් Evo, පර්ජෝ 504 වගේ දහසකුත් එකක් මැණික් කැට පහුකරගෙන නොදැක්කා වගේ යන එක අමාරු දෙයක් නෙමෙයි, කරන්න බැරි දෙයක්. ඉතින් එහෙන් මෙහෙන් ඒවා අතගගා බලබල, මේ වෙනකොට කාර් සංස්කෘතිය ටිකෙන් ටික සෑහෙන හොඳට ග්‍රහණය කරගනිමින් ඉන්න කෞශිගේ දැනුම ගැන සැරින් සැරේ පුදුම වෙමින් මම හෙමින් හෙමින් කාර් ටික තියන ඉසව්වට ගියා. 

ප්‍රදර්ශනේ බලන්න ආපු එකක්

ප්‍රදර්ශන පරිශ්‍රයට ඇතුල් වෙනකොටම පෙනුණේ ලස්සන Lancia Fulvia Coupe එකක්. හරියටම කියනවා නං 1968 අවුරුද්දේ හදාපු Lancia Fulvia Coupe Rallye 1.3 එකක්. අපේ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙකුගේ ඇස් එතන නතර වෙලා තිබුණා කියලා අපට තේරුණා. ජර්මන් වාහන පත්තියන් වෙච්චි අපේ රස නහර වලට එහා ගිය සෞන්දර්ය රස ලාලිත්‍යයක් Lancia වගේ ඉතාලි කාර් වල තියනවා. අවාසනාවකට අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉතාලි කාර් කිව්වම තාම මතක් වෙන්නේ Fiat Uno වගේ ඒවා.


ඊළඟට අපේ ඇහැ ගිය එක තමයි Fiat Topolino දෙකතුනක් පිරිවරාගෙන රජෙක් වගේ උත්තුංග දේහයෙන් නැගී හිටපු Fiat 514 එක. කාර් ලෝකේ සුප්‍රකට චරිතයක් වන බ්‍රී පොන්නම්බලම් මහත්මයාට අයිති, U1618 අංකය දරාගෙන හිටපු ඒ කාර් එක සාමාන්‍යයෙන් ඉතාලි කාර් ගැන හිතේ ඇති නොවෙන ජාතියේ ගෞරවයක් මගේ හිතේ ඇති කෙරුවා.


ඊළඟට මගේ හිත ඇදුණේ මැල්කම් ෆනෑන්ඩස් මහත්මයාට අයිති Fiat 1100 එකට. මේක අර සාමාන්‍යයෙන් ගොඩක් අය හොයන 'ෆොග් ලෑම්ප් මොඩ්ල්' එක හෙවත් ග්‍රිල් එකේ මැද තනි ෆොග් ලෑම්ප් එකක් තියන මොඩ්ල් එක නොවුණට මට ගාණක් තිබ්බේ නැහැ. Fiat 1100 එක කවදත් මගේ ආදරය දිනපු කාර් එකක්. විශේෂයෙන් අළු පාටට හුරු නිල් පාට සහ සුදු පාට තවරාගෙන ඉන්න Fiat 1100 කාර් වලට තමයි මම ඉස්සර ඉඳන්ම වැඩියෙන් ආදරේ කළේ. මේකත් ඒ වගේ එකක්.


ඊට පස්සේ මම කෙළින්ම දිව්වේ සෑහෙන කාලයක් ආසාවෙන් හිටපු දේකට. ඒ තමයි ගිෂංකගේ Fiat 500 Abarth එකත් එක්ක ෆොටෝ එකක් ගන්න. මම හිතන්නේ ප්‍රදර්ශනේ ඇතුළේ මගේ කැමරාවෙන් වැඩිම ෆොටෝ ගාණකට අහුවුණු කාර් එක තමයි දඟම දඟකාර හදවතක් හංගගෙන අහිංසක ලීලාවෙන් පාර බලාගෙන නිසොල්මනේ හිටපු ඒ කාර් එක. ඒ ගෝනුස්සා මාක් අබාත් බැජ් එක මතක් වෙන වාරයක් ගානේ මගේ හිත කිතිකැවෙනවා! 




ඇවිත් හිටපු අයගේ ආකර්ෂණය දිනාගත්තු තවත් කාර් එකක් තමයි මාලක හේරත් මහත්මයාගේ Fiat 1/9 එක. එතුමා ඒක සෑහෙන්න පාවිච්චි කරන නිසා සහ රේස් පවා පදින නිසා ඒකෙ ඉස්සරහ වීදුරුවත් බාගෙට බිඳිලා තියෙන්නේ. නමුත් ජෙනුයින් ස්පෝට්ස් කාර් එකක තියන අනිවාර්ය ගුණාංගයක් වන 'රස දන්නා අය ළඟට කැඳවා ගැනීමේ හැකියාව' ඒ කාර් එකේ තියනවා. කොටින්ම කිව්වොත් ප්‍රදර්ශනේ අංගයක් විදිහට කාර් ටිකේ එන්ජින් ටික එක වෙලාවට ස්ටාර්ට් කරපු අවස්ථාවේ පවා මම හිටියේ එතනට ඇවිත් (අවංකවම කියනවා නං මට ඕන වුණේ ගිෂංකගේ 500 එකේ හඬ අහන්න. නමුත් ගිෂංක ආපු නැති නිසා මම මාලක ගේ කාර් එකේ හඬ අහන්න සෙට්ල් වුණා. ඒ සද්දේ කොච්චර මිහිරි වුණාද කියනවා නං මම ඒක රෙකෝඩ් කළා).


ඔය අතරේ ලංකාවට ගෙන්නපු පළවෙනි ෆියට් 600 එක කියලා සැක කරන කාර් එකකුත් තිබ්බා. 1955 අවුරුද්දේ හදපු මේ කාර් එක දැන් අයිති ශ්‍රීජිත් ද සිල්වා ට. 


ඔහොම එකින් එකට යයා ඉන්න අතරේ ගිෂංක අපිව දැකලා අපිත් එක්ක කතා කරන්න ආවා. ඇවිත් එයාගේ අලුත්ම කාර් එක වෙන Alfa Romeo Alfasud එක ගාවට එක්කගෙන ගියා. කාලයක් තිස්සේ restore කරපු මේ කාර් එක ප්‍රදර්ශනේ වෙනුවෙන්ම තමයි ඉස්සරලම එළියට අරගෙන තිබුණේ. මේක Series 3 එකක්. හදපු අවුරුද්ද 1982. එන්ජිම 1.5L (105bhp) එන්ජිමක්. ට්වින් වෙබර් කාබරේටර්. විශේෂම දේ තමයි මේ කාර් එක බ්‍රෑන්ඩ් නිව් ලියාපදිංචි වෙලා තියෙන්නේ ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ගේ නමට. එතුමාගේ මුණුබුරා ඒක රේස් පදින්නත් පාවිච්චි කළාලු. 



ඊට පස්සේ ප්‍රදර්ශනේ තිබුණු තවත් කාර් එකක් ගැන මගේ අවධානය යොමු කෙරෙව්වේ Torque&Throttle සඟරාවේ ප්‍රධාන කර්තෘ (සහ ඒ වෙබ් සයිට් එකේ රචක/සංස්කාරක) සජීව් වීරකෝන්. සජීව් මට පෙන්නුවේ Fiat Uno එකක්. Fiat Uno කියන්නේ මම අකමැතිම කාර් වර්ගයක් නිසා සජීව් ඒ ගැන මට නොකිව්වා නම් මම ෆොටෝ එකක් වත් නොගෙන යන්න ඉඩ තිබ්බා. මේ කාර් එක ගත්තු දවසේ ඉඳන් තිබිලා තියෙන්නේ එකම පවුලක. මුල් අයිතිකරුගේ මුණුබුරා (අමේන්ද්‍ර බණ්ඩාරනායක) තමයි මේ කාර් එක දැන් ආදරෙන් බලාගන්නේ. අමේන්ද්‍රගේ සීයා තාමත් ඉඳහිට මේ කාර් එක ඩ්‍රයිව් කරනවා ලු. 1989 ඉඳන් මේ කාර් එක දුවලා තියෙන්නේ කිලෝමීටර් 31,000 කට ආසන්න ගාණක් විතරයි! කාර් පිස්සන්ට දැන් තේරෙනවා ඇති මේක කොච්චර විශේෂද කියලා. 


ලංකාවේ කාර් ඉවෙන්ට්ස් වල අනිවාර්යයෙන් දකින්න ලැබෙන JD-1234 ෆෙරාරි එක වගේම මසරාටි එකක්, ඩුකාටි බයික් දෙකක් වගේ දේවල් ප්‍රදර්ශනේ බලන්න ආපු පුංචිම දරුදැරියන්ව වසඟ කරගෙන හිටියා. ඒ වගේම හිපි සංස්කෘතියට/විකල්ප ජීවන රටාවකට ඔන්න ගියා මෙන්න ගියා මට්ටමේ ඉන්න අය කැරකුණේ Vespa සහ Lambretta ස්කූටර් නවත්තලා තිබුණු තැන්වල (මේක අපහාසයක් නෙමෙයි).






 


ඒ පැත්තෙන් දොරටුව දිහාට ගියාම පේන්න තිබුණු තව ලස්සන දසුනක් තමයි එක ළඟ පාක් කරලා තිබුණු Fiat 500 එක සහ Alfa Romeo GT 1600 Junior එක. රතට රතේ දිලිසි දිලිසි පාරට පේන්න උජාරුවෙන් හිටපු මේ දෙන්නා නිසා අඩුම තරමේ දහ පහළොස් දෙනෙක් වත් බස් එකෙන් බැහැලා රේස් කෝස් එකට එන්න ඇති.


මීට අමතරව තව Alfa Romeo Brera, 155 සහ156 වගේ භාණ්ඩ ටිකකුත් තිබුණා. ඇල්ෆා එකේ Twin Spark තාක්ෂණය එක්ක බැඳීමක් ඇතිකරගන්න මම ඉස්සර සෑහෙන උත්සහයක් දරලා තියනවා. නමුත් ඒ උත්සාහයන් සියල්ලම අකාලේ වැටුණු කොමාවක් සහ තවත් විරාම ලක්ෂණ කීපයක් එක්ක අමතක වෙලා ගියා. Brera එකේ ඇස් වලට මම ආසයි. ඒ වුණාට මම Brera ගන්න කියලය! (155 සහ Brera ගැන එකම ඡේදයක මේ තරම් කෙටියෙන් කතා කිරීම සහ 'Brera එකේ ඇස් වලට මම ආසයි' වගේ බොළඳ කතාවක් කීම ගැන  ඉතාලි කාර් ප්‍රේමියෝ කමත්වා! මේ ටිකවත් ලිවුවේ පළවෙනි draft එක ලියලා එඩිට් කරද්දී). 


Brera දෑස්
මේ ඔක්කොම අසිරි සිරි නරඹන අතරේ කාර් පිස්සුව හරහා මාව අඳුරගත්තු කීපදෙනක් හමුවීමත් ලොකු සතුටක් වුණා. කලිඳු, සහන්, ආසිරි, බුද්ධික, චන්දන ඇතුළු පිරිසක් හමුවුණා වගේම තවත් පිරිසක් කාර් පාක් එකේ 9 ශ්‍රී 5333 තියනවා දැකලා, ඒත් මාව දැකලා නැති නිසා ප්‍රදර්ශනේ ඇතුළේ මාව හොයාගන්න බැරිවුණා කියලා පණිවිඩ එවුවා. මේ වගේ පුංචි දේවල් දැන් ප්‍රදර්ශන වලදී සහ මගතොටේදී ඉස්සර නොදැනුණු සතුටක් එක්ක පුංචි ආඩම්බරයක් හිතට ගේනවා, කාර් පිස්සුව කෙටි කාලයක් ඇතුළත සෑහෙන දුරකට සාර්ථක වෙලා නේද කියලා.





පැය 3 කට ආසන්න කාලයක් ප්‍රදර්ශනේ ඇතුළේ ගතකරලා අපි 9 ශ්‍රී 5333 ත් එක්ක ගෙදර ආවේ බොහොම සන්තෝසෙන්. මගේ දැක්මේ හැටියට ඒ පුංචි ප්‍රදර්ශනේ අතිශයින් සාර්ථකයි. මම බලාපොරොත්තු නොවුණු තරම් පිරිසක් ඒකට ඇවිත් හිටියා. වැඩේ මේ තරම් සාර්ථක කරගන්න හැකිවීම සම්බන්ධයෙන් Italian Car Enthusiasts' Club එකට කාර් පිස්සුවෙන් උණුසුම් සුබපැතුම්! ඊළඟ අවුරුද්දේදීත් මේ ප්‍රදර්ශනය මීටත් වඩා සාර්ථක විදිහට කරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

තරිඳු ශ්‍රී ලොකුගමගේ
02.08.2017
www.facebook.com/CarPissuwa

Saturday, July 22, 2017

ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන්


කුරුණෑගල පහු කරගෙන ගිහින් ඉබ්බාගමුවෙන් වමට හැරෙව්වම ලංකාවේ ලස්සනම පාරවල් වලින් එකක් හමුවෙනවා. ඒ පාරම හරිම සුන්දර, හරිම රසවත් පාරක්. ඒ පාර අයිනේ පලතුරු විකුණන මිනිස්සුන්ගේ හිනාව තරම් සුන්දර, එයාලා හදලා දෙන ගම්මිරිස් දාපු ඇත් දොඩම් වීදුරුව තරම් රසවත් පාරක්...

ඒ තමයි ඉබ්බාගමුව පාර. ගූගල් මැප්ස් වල තියන විදිහට ඉබ්බාගමුව-කුඹුක්ගැටේ-මඩගල්ල පාර...

ඉබ්බාගමුව පැත්තෙන් මඩගල්ල පාර පටන් ගන්න/අවසන් වන තැන. මේක ගත්තේ ආපහු යද්දී

මේ පාර විහිදෙන්නේ ඓතිහාසික භූමියක් මැද්දෙන්. අරන්කැලේ ඇතුළුව පුරා විද්‍යා වටිනාකමක් තියන, ඒ වුණාට වැඩි දෙනෙක් නොදන්නා අපූරු ස්ථාන මහා ගොඩක් මේ පාර දෙපැත්තෙන් ඇතුළට විහිදෙන පාරවල් වල ඉහිරිලා විසිරිලා තියනවා. පාරේ කෙළින්ම ගියාම යාපහුවට යන්න පුළුවන්...

මේ පාරේ ගිය අපූරු සංචාරයක් (සංචාරයක් කිව්වට ඒක ගවේෂණයක්) ගැන විස්තරයක් ලක්දසුන් වෙබ් අඩවියේ තියනවා. ඒ විස්තරේට අනුව මඩගල්ල පාර මූලික කරගෙන යන සංචාරයකදී අරන්කැලේ සංඝාරාමය, රන්ගිරිමඩ ලෙන් විහාරය, කෝම්බුව රජමහා විහාරය, කසාගල ලෙන් විහාරය, එගොඩගම කබල්ලෑ ලෙන් විහාරය, රාවා ඇල මාලිගාතැන්න පුරාවිද්‍යා පරිශ්‍රය, නයින්දනාව රජමහා විහාරය, හක්වටුනා ඔය ජලාශය වගේ තැන් නරඹන්න පුළුවන්. 


නමුත් මෙදාපාර අපි ගියේ එහෙම සංචාරයක් නෙමෙයි. අපට පෞද්ගලික අවශ්‍යතාවකට දොරවේරුව පැත්තට යන්න ඕන වෙලා තිබුණා. මටත් කෞශිටත් නිවාඩු ගැනීමේ දුෂ්කරතා තිබුණු නිසා මේ සංචාරයට දින දෙකක් වෙන්කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අනික් අතට කුරුණෑගලට කිට්ටුව බොහොම දුර්ලභ මාදිලියකට අයත් කාර් එකක් කියල විකුණන්න දාලා තිබ්බ කාර් එකක් සඳ නිල්වෙන ඇත්තක්ද තරු ගල්වෙන බොරුවක්ද කියල දැනගන්න සහ විනාඩි පහකට හරි කාර් පිස්සුවෙ හිතවතුන් පිරිසක් වෙන කලිඳු ඩිලංක සහ උගේ නඩේ මුණගැහිලා යන්නත් අවශ්‍ය වෙලා තිබ්බ නිසා මඩගල්ල පාරේ වැඩිවෙලා ගැවසෙන්න සැලැස්මක් තිබ්බේ නැහැ... 

අපි කවදත් පානදුරේ ඉඳන් කඩවතට යන්නේ හයිවේ එකේ. හයිවේ එක ගැන ඕන තරම් ලියලා තියන නිසා දැන් ඒ ගැන අලුතින් ලියන්න දෙයක් නැහැ. කඩවත ඉඳන් අඹේපුස්ස වෙනකල් යන්නේ නුවර පාරේ. නුවර පාර දැන් කලගෙඩිහේන හරියට එනකල් හොඳට හදලා තියෙන්නේ. ඒකෙත් එහෙමට කියලා විශේෂ දෙයක් නැහැ. 

අඹේපුස්සෙන් කුරුණෑගල පැත්තට හැරෙව්වම ත්‍රිකුණාමලය හයිවේ එකට වැටෙනවා. යන්න කලින් ගමන ගැන කරපු පුංචි කතාබහකදී කලිඳු කිව්වා 'ඔය පාරට දැම්මම ඉබ්බාගමුවෙන් හැරෙන්නේ නැතුව ත්‍රිකුණාමලේ යන්න හිතෙයි' කියලා. ඒක ඇත්ත. පාර දැන් ඒ තරමට හොඳයි. කුරුණෑගල ටවුම කිට්ටුව නම් තාමත් ඇතුගලට කිබුහුම් ගියා වගේ තඩි වලවල් සහ, වටරවුම් වෙනුවට 'වැඩබලන වටරවුම්' වුණු තාර බැරල් කේස් තාම තියනවා. ඒ වුණාට ඒ ඇරෙන්න පාර ගොඩක් දුරට සුපිරි. 


මේ ගමන ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න අදහසක් නොතිබුණු නිසා අපි ඉබ්බාගමුවට එනකල් ෆොටෝ එකක් ගන්න වත් උනන්දු වුණේ නැහැ. ඉබ්බාගමුවේදී වතුර බෝතලයක් ගන්න නවත්තපු වෙලාවේ 'ඉබ්බාගමුවට ආ ඉබ්බා' කියලා කැප්ෂන් එකක් දාන්න හිතාගෙන බීට්ල් එකේ ෆොටෝ එකක් දෙකක් ගත්තා. ඊට පස්සේ එතනින් වමට දාලා මඩගල්ල පාරට හැරෙව්වා. 

ඉබ්බාගමුවට ආ ඉබ්බා :)

මඩගල්ල පාර ඉද්ද ගැහුවා වගේ කෙළින් විහිදෙනවා දැක්කම මට මතක් වුණේ අනුරාධපුර හයිවේ එක. තර්ඩ් එකෙන් ෆෝත් එකට ඇවිල්ලා විනාඩි දෙකතුනක් යද්දී අර වෙල් යායවල් පිසගෙන එන පවන් රැලි අවුරුද්දට ටාටා බස් කොට වල නැගලා 'සත්තලං කොල්ලෝ' කියාගෙන බලෙන් ගෙවල්වලට කඩාවැදිලා උම්මා දෙන හද්දා ඩොටේ නෑයෝ වගේ ක්වාටර් ග්ලාස් වලින්, සයිඩ් ග්ලාස් වලින් විතරක් නෙමෙයි කනේ මයිල් වලින් පවා රිංගන්න ගත්තා. තවත් මීටර් සීයක් යන්න කලින් අපි දෙන්නටම එකම වෙලාවට වගේ මවු බාසාවත් අමතක වෙලා මෙහෙම කියවුණා. 

"What a road...! What a &*^% awesome road...!" 




පාර දෙපැත්ත එකම හරිත සදාහරිත රිඹහරිත ටොම්බහරිත යායක්. බලන බලන තැන පෙන්නේ ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන්. කුඹුරු යායවල්, පලතුරු වගාවල්, කීර වගාවල්, වන වගාවල් සහ නම නොදන්නා වගාවල් වලින් පාර දෙපැත්තේ ඇසට අසුවන මායිමේ හැම හිච්චි අඟලක්ම වැහිලා ගිහින්. මේ හරිත බ්ලැන්කට්ටුව දෙපැත්තෙන් සීමා වෙන්නේ අයිසින් මල් ගලෝලා කාපු අයිසින් කේක් එකක උඩ වගේ ඉඳ හිටක පිහිටි ගල මතුවුණු, ඒ වුණාට වැඩි හරියක් වන ගහනයට යටවුණු හිත හීල් කරන, ඇහැ කූල් කරන, හද කෝල් කරන මනෝරම්‍ය කඳුගැට. ඒ අතරින් පතර පුරාණ රජමහා විහාර වලට යන පාරවල් කියලා ඊතල ඇඳපු බෝඩ් තියන හීන් පටු පාරවල් තැනින් තැනින් මතුවෙනවා. ඊට පස්සේ පොඩිපහේ ගෙවල් දෙකතුනක්, කඩ දෙකතුනක් සහ හදාගෙන යන ප්‍රජා ශාලාවක් වගේ එකක් පේන්න ගන්නවා. ඊට පස්සේ ආයෙමත් අර ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන් සිත්තම් පටේ නවත්තපු තැනින් පටන් අරගෙන තිරගත වෙනවා. 



ගිය වැඩේ කරගෙන ආපහු එද්දී අපි මුලින්ම මගදී හම්බුණු කඩ පොඩ්ඩකින් ගම්මිරිස් දාපු ඇත් දොඩම් වීදුරුවක් බොන්න අමතක කළේ නැහැ. ඒ මිනිස්සුත් එක්ක ඇදගත්තු කතාබහ නතර වුණේ අපි ගස්ලබු, අලිපේර, ඇත් දොඩම් විතරක් නෙමෙයි සීනි බෝලත් අරගත්තට පස්සෙයි (ඒ ගෙනාපු පලතුරු හැම එකක්ම කොළඹ පලතුරු වලට වඩා ජෙනුයින් රසට තිබ්බා. විනෝදාංශයක් විදිහට කෑම ටෙස්ට් කරන අපට රහ වෙනස් වීම් හොඳට හුරුයි. ඒ නිසා 'ගමනේ ආතල් එකට හිතෙන දේවල්' කියලා ඒක බැහැර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ). ඊට පස්සේ තව පොඩි දුරකින් තිබ්බ ලස්සන පහේ කඩේකින් හොඳ කෑම වේලකුත් කාලා අපි එන්න පිටත් වුණා. 


ඒ වුණාට මෙච්චර ලස්සන පාරකදී බීට්ල් එකත් එක්ක ෆොටෝ අරගන්නේ නැතුව එන්න පුළුවන්ද? මම හැමදාම කියනවා වගේ, බීට්ල් එක කියන්නේ හරියට උදේට සේපාලිකා මල දවල්ට ඕකිඩ් මල හැන්දෑවට හෙන්දිරික්කා මල වගේ පරිසයට අපූරුවට මුහුවෙන වාහනයක්. සමහර විට එහෙම වෙන්නේ බීට්ල් එක ඩිසයින් කරද්දී පරිසරයෙන් ආදර්ශ ගන්න කියලා හිට්ලර් ලොක්කා Ferdinand Porsche මහත්මයට කියාපු නිසා වෙන්න ඇති (මේක ඔරිජිනල් පේන්ට් එක තිබ්බා නං මීට වඩා ලස්සන වේවි කියන එක මං පිළිගන්නවා. ඒත් 9 ශ්‍රී 5333 එක්ක අනවශ්‍ය අවදානමක් ගන්න මම කැමති නැති නිසා පේන්ට් කරද්දී ඔරිජිනල් පේන්ට් එක හදවන්න ගියේ නැහැ).




අපි ගෙදර ආවේ අර කුරුණෑගල හරියේදී බලන්න ගිය කාර් එක බොරුවක් බව තහවුරු කරගැනීමෙන් (ඔරිජිනල් ෆැක්ටරි බොඩිකිට් එක කියලා advertise කරලා තියෙද්දී 'අපේ පුතා තමා බොඩි කිට් එක ගැහුවේ' කියලා කියපු අයිතිකාරයාගේ මවුතුමීට අපේ උත්තමාචාරය!) සහ කලිඳු ඇතුළු බීට්ල් පිස්සෝ රැල හමුවීමෙන් පස්සෙයි. මගදී වේවැල්දෙණියේ නවත්තලා ගෙදරට කිසිම අවශ්‍යතාවක් නොතිබුණු බඩු ටිකක් අරගන්නත් අපි අමතක කළේ නැහැ. 




එන ගමනේදී අපි දෙන්නා කතා කළේ අපි බලන්න කියලා විශේෂ තැනකට නොගියට අපට ගමන කොච්චර තෘප්තිමත් වුණාද කියන එකයි. කොටින්ම 9 ශ්‍රී 5333 එක්ක ගිය අනුරාධපුර ගමනෙන්, කතරගම ගමනෙන්, පාහියංගල ගමනෙන් සහ තවත් අටෝරාසියක් ගමන් වලින් ලැබුණු තෘප්තියම අපට මඩගල්ල පාරේ ඩ්‍රයිව් කිරීමෙන් ලැබුණා. 

ඇත්තටම සංචාරයක් කියන්නේ ගමනාන්තය නෙමෙයි ගමනමයි කියන එක අපට හරියට වැටහුණේ එදා. කුඹුක්ගැටේ, හතරේ ඇල, නෙල්ලිය වගේ ග්‍රාම නාම තියන පුවරු පහුකරගෙන, අර කඳුගැට දෝතින් තුරුළු කරගත්තු සදාහරිත පුණ්‍යභූමි පිසගෙන මඩ සුවඳ, කොළ සුවඳ, හරක් ගඳ සහ නෑඹුල් මහ පොළොවේ සුගන්ධය ඉඹගෙන පියාඹලා එන දේවදූත හුළං රැළි වල පහසින් නිවී සැනසිලා බීට්ල් එකේ විසිල් රාවය අතොරක් නැතුව දෙකන් වල රඟතවර කරගෙන ඉදිරියට ඇදෙද්දී කාර් පිස්සෙක් සහ පිස්සියක් වීමේ හැබෑම අරුත් කන්දරාව අපි දෙන්නට දෙපිටින් යන්න දැනුණා. 

බ්ලොග් පෝස්ට් එකක් ලියන්න නොහිටියට මේ මනෝ පාර අකුරු වලට හැරවුණේ ඒ හන්දයි... 




ක්ලැසික් කාර් එකක් නැතත් දැනට තියන වාහනේ නැගලා හරි වෙලාවක මඩගල්ල පාර පැත්තේ ගිහිං එන්න. අඩු ගානේ යාපහුවේ යන වෙලාවක දෙපැත්ත බලාගෙන ගැඹුරු හුස්මක් අරගෙන ඒ නැවුම් ඔක්සිජන් සැපයුම පෙනහළු පුරා විඳගන්න.

හැබැයි ප්ලීස්... ටොපි කොළයක් වත් හළලා එන්න එපා වස්තුවේ... ඒ පොළොව තාමත් ගෙදර හුරතලේට හැදෙන කෙලි පැටික්කියෙක් වගේ...!

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
21.07.2017
www.facebook.com/CarPissuwa

Friday, July 14, 2017

ස්ප්ලිට් බස්, රැග්ටොප්, ට්‍රෙකර් සහ වෙනත් සත්තු (World Volkswagen Day 2017)



දෙහිවල ඉවර වෙන්න කිට්ටු වෙද්දී විලියම් එක පේන මානෙන් වමට දාලා Marine Drive එකට දානවා කියන එක හරියට අපායේ ලෝදිය බාත් ටබ් එක පේන මානෙන් වමට දාලා දිව්‍ය ලෝකෙට හරවනවා වගේ අත්දැකීමක්.... 

මට මතක ඇති කාලෙක ඉඳන් වැල්ලවත්තේ ඉඳන් දෙහිවල හන්දිය පහුවෙනකල් ගාලු පාර - හරියටම කියනවා නං විලියම් හන්දියයි දෙහිවල හන්දියයි අතර පාර - ට්‍රැෆික් පිරුණු, වළවල් පිරුණු, ත්‍රීවීලර් පිරුණු, බස් පිරුණු, බාප්පලා පිරුණු පාරක්. වැඩ ඇරෙන වෙලාවක (හෝ වැඩට යන වෙලාවක) බස් පණුවෙක් එළවන ලේලන්ඩ් කට්ටක හිරවෙලා ඔය ටික පහු කරනවා කියන එක හරියට පැලුණු රබානක හරක් හම කනවා වගේ අප්‍රසන්න අත්දැකීමක් කියලයි මට හිතුණේ. ඊට පස්සේ කාලෙක වාහන එළවගෙන ඒ පැත්තේ යන එනකොටත් ඒ රබන් කට්ට එහෙමම කන්න සිද්ධ වුණා. අදටත් ඒ කුණු රහ එහෙමමයි.ඒ නිසා කොළඹ යනකොට Marine Drive එකට හරවන්නේ කොයි වෙලාවෙද කියලා බලබලා තමයි යන්නේ. 

විලියම් හන්දිය, ඉරිදා උදෙක වැල්ලවත්ත පැත්තේ ඉඳන් යනකොට පේන හැටි

පහුගිය ජූලි 9 වෙනිදා උදෙත් අපි දෙහිවල හරිය පහුකළේ ඒ සිතිවිල්ලෙන්මයි. උදේ පාන්දර මොරටු අහසේ පෝර දාපු අලුකෙසෙල් පාටට කළුවක් මෝදු වෙලා තිබ්බට දෙහිවල අහස නම් පොලීතීන් පුච්චනකොට නගින දුමට සමාන පාටකට තිබ්බා. 

Marine Drive එකේ වැල්ලවත්තට කිට්ටු වෙනකොට තමයි අහස අහසේ ඉඳන් අත දික්කරලා 'ඉඳා කාපිය' කියලා අපට අලුකෙසෙල් කවන්න ගත්තේ. මගේ ප්‍රථම ප්‍රේමය long distance relationship එකක් වෙලා ඊට පස්සේ මකන්න බැරි ඊමේල් එකතුවක් සහ පුච්චන්න බැරි කාඩ් එකතුවක් වෙන්න ඔන්න මෙන්න තිබ්බ එක්තරා දුරාතීතෙක වත්තල හරියේදී අහුවුණු අනෝරා වැස්සට පස්සේ මතක ඇති කාලෙකින් එහෙම වැස්සකට අහුවෙලා තිබුණේ නැහැ. උදේ පාන්දර කාර් ෂැම්පු දාලා, ඉන්ටීරියර් ක්ලීනර් දාලා, වින්ඩෝ ක්ලීනර් දාලා, ටයර් පොලිෂ් දාලා, කිරිබත හැඩ කරනවා වගේ සීරුමාරුවට තෙත මාත්තු කරලා එළියට දාපු 9 ශ්‍රී 5333 අර කොළඹ හද්ද ජරහන්ත අහස හෝදාගෙන එන ලුණු මිශ්‍ර ඇසිඩ් වතුරට රිඹ යන්න නෑවෙන්න ගත්තා. 

මමයි කෞශියි දුක තදකරන් මහමෙර තරන් වයිපර් දමන් හෙමිහෙමිහෙමින් ඉදිරියටම ඇදුණා. 

බම්බලපිටිය පහුකරලා කොල්ලුපිටිය පැත්තට යද්දී අහස 'දැන් තෝ අලුකෙහෙල් කෑවා ඇති' කියලා ඉතුරු වැහිබින්දු ටික අරන් පොකැට් එකේ දාගත්තා. අපි නිරිතදිග මෝසම් වැස්සේ ලේන්නු අල්ලන්න ගිහින් පොල් ගහෙන් ගලන වතුරට අහුවෙලා කැට් ප්‍රයිඩ් එක ෆ්ලකෑෂ් වෙච්ච පූස් පැටවු වගේ ආපහු ගාලු පාරට දාලා පාගලා ගිහින් ගෝල්ෆේස් හෝටලේ ගේට්ටුවෙන් ඇතුළට හැරෙව්වා. 


වෙනදට උදේ හතයි තිහට එන්න කිව්වම දහයට වත් නොඑන මිනිස්සු අද හතයි කාල වෙද්දී ඇවිල්ලා. ගෝල්ෆේස් හෝටලේ කාර් පාක් එක රතු පාට නිල් පාට කොළ පාට කහ පාට සුදු පාට දම් පාට රෝස පාට තැඹිලි පාට ගෝල්ඩ් පාට සිල්වර් පාට කාකි පාට කළු පාට අළු පාට යකඩ පාට මලකඩ පාට ගින්දර පාට කොස් පාට දෙල් පාට පොළොස් පාට වගේම නම නොදන්න පාට සහ නම කියාගන්න බැරි පාට වලින් හැඩවුණු බීට්ල් යායකින් වැහිලා ගිහිං. ඒ අතර ඉඳහිට වතුසුද්ද මල් යාය මැද්දෙන් හංගාගත්තු ආඩම්බරෙන් ඔලුව උස්සපු ඇන්තූරියම් මල් වගේ කාමන් ගියා එකක් දෙකක් සහ වේරියන්ට් එකක් දෙකක් එක්ක ස්ප්ලිට් බස් එකක් සහ ට්‍රෙකර් එකකුත් තිබ්බා. 



එදා එතන තිබුණේ VW Beetle Owners' Club එක සංවිධානය කරපු World Volkswagen Day රැලිය විතරක් නෙමෙයි. ලංකාවේ කාර් ක්ලබ් එකකින් පළවෙනි වතාවට ක්ලැසික් කාර් එකක් තෑගි දෙන raffle එකේ දිනුම් ඇදීමත් එදා තමයි කරන්න නියමිත වෙලා තිබුණේ. ඉතිං ටිකට් ගත්තු සහ ටිකට් ගන්න හිතපු අය සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ නිසා වෙනදා දකින, ඒත් එහෙමට ඇයි හොඳයියක් නැති පළපුරුදු මූණු ටික වෙනුවට මෙදා VW event එකක් උපන්තේකට දැකලා නැති මූණු ටිකකුත් ගෝල්ෆේස් හෝටලේට පායලා තිබ්බා. 

තෑග්ග විදිහට දීපු කාර් එක. මේක තියලා තිබ්බේ ගල්කිස්ස හෝටලේ

9 ශ්‍රී 5333 නවත්තලා වාහනෙන් බැහැලා හැරෙන්නත් කලින් ඇවිල්ලා අපිව පිළිගත්තේ ආසිරි ඇල්ලගේ. ආසිරි කියන විදිහට එයා ඉස්සර එපා වෙලා පැත්තකට දාලා තිබ්බ බීට්ල් එක හදන්න ඕනේ කියන සිතිවිල්ල ඇවිල්ලා තියෙන්නේ කාර් පිස්සුවෙ පාහියංගල ලිපිය කියෙව්වට පස්සේ ලු. ඒක ඇත්තද කියන්න මම දන්නේ නැහැ. හැබැයි එදා එහෙම පැත්තත දාලා තිබුණු කාර් එක දැන් ෆැක්ටරියෙන් ගත්තු දවසේ වගේ ලස්සනට තියනවා ඉස්සරලම දැක්කම මගේ හිතට දැනුණේ Big Bang Theory එකේ Penny ව ඇත්තට දැක්කා වගේ විස්මය, සතුට, ආදරය, ආශාව හා ශෘංගාරය මිශ්‍ර හැඟීමක්! 

ඔය සුදට හුරු පාටකට තියෙන්නේ ඇල්ලේගේ කාර් එක

එදා ඇත්තටම වැඩි දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තිබුණේ දොස්තර ශ්‍රීලාල් මහත්මයාගේ EN ස්ප්ලිට් බස් එකට. ලංකාවේ ඉස්සරහ වීදුරුව දෙකට බෙදුණු ෆොක්ස්වැගන් වෑන් (මේවට සාමාන්‍ය එයාර් කූල්ඩ් ව්‍යවහාරේදී ඇමරිකානුවෝ කියන්නේ 'බස්' කියලා. එංගලන්තේ හාදයෝ කියන්නේ 'කෑම්පර්' කියලා) හරිම අඩුයි. ඉඳලා හිටලා හබරල ගාලක් ළඟ අවුරුදු තිහක් විතර අතඇරලා දාලා තිබුණු, යකඩ දැදුරු කරගෙන මලකඩ මල් යායවල් පිටින් පිපුණු බස් වලට පවා බ්‍රෝකර් ලා ජර්මනියම සල්ලිවලට ගන්න පුළුවන් තරමේ ගණන් කියන නිසා අපි වගේ ගොඩක් දෙනෙකුට ඒවා හීන විතරයි. ඔහොම එකක් ගොඩ ගත්තොත් ඉතිං දොස්තර මහත්තයෙක්ම තමා! 





ඊට අමතරව සුපුරුදු විදිහට පීටර් ජාසිංහ මහත්මයාගේ ස්ප්ලිට් බීට්ල් එක, කපිල ජයවර්ධන මහත්මයාගේ ට්‍රෙකර් එක සහ දිනේෂ් මහත්මයාගේ Left hand drive ragtop එක එහෙමත් ගොඩක් දෙනෙක්ගේ වායු-සිසිලන ලාලසාව ඇවිස්සුවා. ඊට අමතරව තව ඔරිජිනල් convertible කියල විස්වාස කරන්න බැරි ඔරිජිනල් convertible එකක්, පිට ගේකට ආපු කුලෑටි දැරිවියෝ දෙන්නෙක් වගේ හැංගුණු ගොල්ෆ් දෙකක් සහ 'යකෝ කවුරුවත් මා දිහා බලන්නේ නැත්තේ ඇයි' කියලා හිතහිතා හිටපු වේරියන්ට් එකකුත් එතන තිබුණා. 






සුපුරුදු විදිහට තේ පානයෙන් පස්සේ අපි ගල්කිස්සේ හෝටලේට යන්න පිටත් වුණා. Volkswagen Day ඉවෙන්ට් එකේ සුන්දරම අත්දැකීම තමයි මේ ඩ්‍රයිව් එක. ඉරිදා උදේ ගාලු පාර දෙපැත්තේ උස ගොඩනැගිලි වල හැප්පිලා දෝංකාර දෙන ජර්මානු යකඩ විසිල් ගීතිකා කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස වසාගෙන පැතිරෙනවා. පාර දෙපැත්තේ ඉන්න අයගෙන් ලැබෙන්නේ අතීතකාමය සහ අනාගත බලාපොරොත්තු මුසුවුණු අපූරු බැල්මවල්. ඔය අතරේ උන්නු ගමන් තමන්ගේ තුනී යකඩ වාහන ගැන හීනමානයක් ආපු රියදුරෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් වෙට්ටු දාන්න ගන්නවා. 





මෙතනදී එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ. බීට්ල් ටික යන්නේ පෙරහැරක් විදිහට නෙමෙයි. ඔය එක පේළියට වගේ පෙන්නේ ගමන ආරම්භ කරපු ස්ථානය ආසන්නයේදී විතරයි. පාරේ අනික් වාහන වලට බාධා නොවෙන්න ගමන යන එක අපි හැමෝම බොහොම දැනුවත්ව කරන දෙයක්. මෙතෙක් මම සහභාගී වුණු කිසිම ඉවෙන්ට් එකකදී පොලීසියේ සහයෝගය ඇතුව අර බයිසිකල් රේස් වගේ පාර වහගෙන බීට්ල් රැලි ගිහිල්ලා නැහැ. ෆොක්ස්වැගන් ටික lane discipline ඇතුව යද්දී වෙන වාහන පදින සමහරු මංතීරු නීතිය අතට අරගෙන වනවනා යන හැටි එදාට බොහොම පැහැදිලිව දැකගන්න පුළුවන් (මේ කාරණාව පැහැදිලි වුණාම තනියම පුෂ්ප විකසිත කරගන්න පිරිසකුත් ඉන්නවා. ඉස්සරහට එයාලව කනෙන් පෙන්නන්න මට පුළුවන් වේවි).

බොහොම කෙටි වෙලාවක් ඇතුළත ගල්කිස්ස හෝටලෙත් ඉබ්බන්ගේ ග්‍රහණයට නතු වුණා. එතනට ආවට පස්සේ හැමෝගෙම වගේ හිතේ තිබ්බේ දිනුම් අදින බීට්ල් එක කාට ඇදෙයිද කියන එකෙයි. ඉවෙන්ට් එකේ ඉතිරි වැඩ කටයුතු ටික කෙරුණේ ගල්කිස්ස හෝටලේ Regency hall එකේ. වෙනදා ඇතිවෙන්න ආසන පහසුකම් තිබුණත් මෙදා පාර හිටපු ජන ගංගාවේ හැටියට සැලකිය යුතු පිරිසකට හිටගෙන ඉන්නත් වුණා. ඒ වගේම දෙමව්පියෝ සෙට් එකක් සෑහෙන ගේමක් දීලා කොක්කුන්ගෙන් ඉල්ලගෙන හෝ රෝස කැලෙන් ඇහිඳගෙන ගෙනාපු ළමයි සෙට් එකක් බුවෑව් බුවෑව් බ්රූම් බ්රූම් හූ හූ අම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් මාආආ තාච්ච්ච්ච්චී ආච්චි පෝච්චි චූ ගගා ශාලාව පුරා දුවපු නිසා කවුරුවත් කියපු කිසි දෙයක් හරියට ඇහුණේ නැහැ. 




කොහොමහරි අන්තිමට ඉවෙන්ට් එකේ ප්‍රධාන අරමුණ වුණු raffle එක දිනුම් ඇදීම වෙනකොට නම් හදවත පැසිපන්දු ගහන්න පටන් ගත්තා. ජයග්‍රහකයාගේ නම හැටියට මගේ නම හෝ කෞශිගේ නම කියවෙයි කියලා බලාගෙන හිටියත් කියවුණේ වෙන නමක් කියලා අර පැටිපස් පරාණේ විලාපය මැද්දෙන් ලාවට ඇහුණා (ගෝසාව කොච්චරද කියනවා නං සහ දුක කොච්චරද කියනවා නං ඒ වෙලාවේ හෝ, පස්සේ ජයග්‍රාහකයා හමුවෙලා සුබපතපු වෙලාවේ හෝ නම අහගන්න බැරි වුණා. පස්සේ ඩේවිඩ් ජැන්සේ තමයි මට නම තහවුරු කරලා දුන්නේ). 

Raffle එකෙන් 1 ශ්‍රී ඔරිජිනල් බීට්ල් එකක් දිනාගත්ත වාසනාවන්තයා වුණේ දමිත්‍ර ජයසූරිය. එයා ඒ වෙලාවේ එතන හිටියේ නැහැ. ක්ලබ් එකෙන් කෝල් එකක් දුන්නම විනාඩි විස්සෙන් එනවා කියපු මනුස්සයා විනාඩි දහයක් යද්දී ගල්කිස්ස හෝටලේට ආවා. දමිත්‍ර මම වගේ  සතුටට උඩ පැනලා සතුට ලෝකෙට පෙන්නන ජාතියේ කෙනෙක් නොවන බව බැලුබැල්මට පෙනුණත් එයා හිටියේ කොයිතරම් සතුටකින්ද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. 





උත්සවේ ඉවර වුණාට පස්සේ මට තවත් ජෙනුයින් බීට්ල් පිස්සෙක් වුණු, කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එක හරහා අඳුන ගත්තු අනුරාධ බමුණුකුලවත් හම්බවුණා. අනුරාධ ගැන මම දැන්ම වැඩි විස්තර කියන්නේ නැහැ, මොකද අනුරාධගේ කාර් එක දොරට වැඩියාම අපට ඊට වඩා කතාකරන්න දේවල් තියේවි කියලා මට හිතෙනවා.

අන්තිමට දමිත්‍ර ජයසූරියට සුබපතලා එයාගේ ෆොටෝ එකක් අරගෙන, එළියේ කහ කිරිල්ලිත් එක්ක හිටපු ප්‍රේමතිලක බාසුන්නැහැ සහ එයාගේ බෑණා සමීරටත් කතා කරලා එළියට ආපු අපි එහෙමම ආපහු කොළඹ පැත්තට හරෝලා BMICH එකට ගිහින් Thailand Week ප්‍රදර්ශනෙත් බලලා තමයි ගෙදර ගියේ. 




World Volkswagen Day 2017 ඉවෙන්ට් එක තමයි 9 ශ්‍රී 5333 සහභාගී වුණු 5 වෙනි බීට්ල් ඉවෙන්ට් එක. මීට අවුරුදු 4 කට විතර කලින් මේක විකුණන මොහොතේදී මේකේ කලින් අයිතිකාරයා වුණු සරත් කුමාර මහත්මයා කීයටවත් හිතන්න නැතුව ඇති එයා ගාව ප්‍රවාහන මාධ්‍යයක් විදිහට තිබුණු, එයාගේ දරුවන්ගෙන් අතේදුර ආදරයක් වත් නොලබපු 9 ශ්‍රී 5333 බොහොම ටික කාලයක් ඇතුළත මේ තරම් legend එකක් වේවි කියලා. 


අද බීට්ල් ඉවෙන්ට් වලදී වෙන අය ගත්තු ෆොටෝ ඇල්බම් වල පවා ඉහළින්ම 9 ශ්‍රී 5333 ඉන්නවා දකිනකොට මට වෙලාවකට පුදුමත් හිතෙනවා, අවුරුදු හය හතකට කලින් කලාවක් කරගෙන වෙලාවක් බලාගෙන නිලාවක් පත්තු කරගෙන වලාවක් වගේ ඉන්නවා ඇරෙන්න වෙන හීනයක් නොතිබුණු මම ම නේද මේක මෙතනට ගෙනාවේ කියලා... 

ජීවිතේ කියන්නේ ඇත්තටම Prototypes වල ඉඳලා 2003 දක්වා ඔරිජිනල් බීට්ල් එක ආපු ගමන වගේම සංකීර්ණ දෙයක්...

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
15/07/2017 
www.facebook.com/CarPissuwa
[කාර් පිස්සුවෙ ලිපි වලට කැමති නං බ්ලොග් එකේ web view එකට ගිහිල්ලා (මේක අදාළ ස්මාර්ට්ෆෝන් වලින් ඉන්ටනෙට් යන අයට) Followers ගැජට් එක ළඟ තියන Follow බට්න් එක ක්ලික් කරන්න]