Tuesday, July 19, 2016

කෝටිනා, කොරෝනා සහ කෝක් තමා ඕනා



මට මතක හැටියට පහුගිය උඳුවප් මහේ... නැතිනම් ඊට කලින් පොසොන් මහේ... මට හරියටම මතක නැහැ... අනික් අතට මාසේ මොකක්ද කියන එකෙන් කාටවත් ඇති වැඩකුත් නැහැ... 

මොකක් හරි නමක් තියන මාසෙක ගාලු මුවදොර පිට්ටනියේ කරදිය හුළඟ වැදෙන මානෙක මගේ බීට්ල් එකේ විසිල් එක අහමින් සහ තවත් බීට්ල් ගොඩක ලස්සන දෑහින් රහ බලමින් යන අතරවාරෙක තමයි මගේ ආතල් කුඩුකරමින් පාරේ වම් පැත්තෙන් ෆෝඩ් මස්ටෑං එකක් මතුවුණේ.... මම ඒක හීනයක් නෙමෙයි කියලා මගේ හදවතත් එක්කම ඩබල් චෙක් කරගන්නත් කලින් කෞශි මගේ දිහාවට හැරුණා. 

"මොකක්ද ඒ?????" 

මසල් කාර් වලට සහ ඇමරිකානු භූමි නෞකා හෙවත් Land yachts වර්ගයේ දැවැන්ත ගෑස් ගස්ලර්ස් වලට කවදත් කොන්දේසි විරහිත ආදරයක් දක්වන කෞශි ඒ තරම් ඉක්මනට ඒකට රියැක්ට් කිරීම පුදුමයක් නෙමෙයි. මම හැතැම්ම තිස් දෙකයි දශම තුනක් විතර සුසුමක් පිටකරලා උත්තර දුන්නා. 

"මස්ටෑං එකක්..."

මම දන්නා තරමින් මස්ටෑං එක රයිට් හෑන්ඩ් ඩ්‍රයිව් ආවේ නැහැ. ඒ වෙනුවට තමයි යුරෝපා රටවලට කැප්රි ආවේ. ඒ වගේම ඉතිං ලේෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කාර් එකක් දැක්කම අර 'ඔබ මට හිමි නැති බැව්, හිත නෑ අදහන්නේ' මූමන්ට් එක තුන්සිත වසාගෙන පැතිරෙනවා. මේක මාත් ඇතුළුව අපේ රටේ කාර් පිස්සන් බොහෝ දෙනෙකුට තියන මනෝ කචල් එකක්. ෆොක්ස්වැගන් රැළියක වුණත් LHD බීට්ල් එකක්, කාමන් ගියා එකක් හෝ සිරොක්කෝ එකක් දැක්කම අපි හැසිරෙන්නේ නිකං සනී ලියෝන්ව දැක්කා වගේ... 

මේ මස්ටෑං එක දකිද්දී අපි හිටියේ බීට්ල් රැළියක, තවත් කාර් ගොඩක් මැද්දේ. කෞශියි මායි එක මොහොතක් දෑහින් දෑහැ බලා උන්නා. ඒ මොහොතේදී අපි ටෙලිපති මෝඩ් එකෙන් කොමියුනිකේට් කළේ 'රැළිය පැත්තක දාලා ඒක පස්සෙන් යමුද' කියලා කටින් අහන එක නිකං අපේ බීට්ල් ධර්මයේ ශුද්ධ වූ පනතක් බිඳිනවා වගේ වැඩක් කියලා හිතුණු නිසයි. 

"ඔන්න ඕක දැක්කේ නෑ වගේ අපි යමු යන්න..." අන්තිමට මම එහෙම කිව්වේ බීට්ල් එකක් එළවගෙන මස්ටෑං එකක් පස්සෙන් යන එක මොන වඳුරු විකාරයක්ද කියලා මටම හිතුණු නිසා. මම හිතන්නේ මස්ටෑං එක කොම්පඤ්ඤවීදිය පැත්තට හරවන්න ඇති. ඒත් ඒක අපේ හිත ඇතුළේ තාමත් පුටුපුටු ගගා අයිඩ්ල් වෙලා තියනවා. 



මේ ඒක නෙවෙයි. මේක දැක්කේ මෝටර් ෂෝ එකකදී.

මස්ටෑං එක පොඩ්ඩකට අමතක කරලා අපි දැන් පියවි ලෝකෙට එමු. අපේ ගෙදර සාමාන්‍යයෙන් ඉස්සර ඉරිදට ලංකාදීපේ ආවම වෙන වැඩක් තමයි මම ටකස් ගාලා ලහිපිට උස්සලා, ෆොක්ස්වැගන් කෑල්ල බලලා ඊට පස්සේ කෙළින්ම ෆෝඩ් කෑල්ලට මාරු වෙන එක. මම කවදාවත් ෆෝඩ් බ්‍රෑන්ඩ් එකත් එක්ක බැඳීමක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඒ වුණාට කෝටිනා එකක් ගන්න ඕනේ කියලා හැඟීමක් හිතේ කාලෙක ඉඳන් පහළවෙලා තිබුණා. මේ අපේ රටේ කෝටිනා පිස්සුව මෙච්චර තදට පැතිරෙන්න කලින් මම හිතන්නේ. ඉස්සර ඉරිදා දවල් වෙනකොට මගේ කන්කරච්චලේ ඇහෙන්නේ නැත්නම් කෞශි සිරිතක් හැටියට මගෙන් අහනවා 'අද කෝටිනා නැද්ද?' කියලා.

අන්තිමට මම හැමදාම ලහිපිට බලලා, තවත් එක ෆොක්ස්වැගන් එකක් උස්සගෙන ගෙදර ගෙනාවා. මගේ යාලුවෝ මටත් නොදැනීම කෝටිනා ගත්තා. අද මට ගියර් දෙකක් මාරු කරන දුරින් පැණියාගේ ගෙදර කෝටිනා එකක් තියනවා. කාලෙන් කාලෙට 'ඕක බලන්න එන්නද?' කියලා උගෙන් අහන්න මට හිතෙනවා. ඊට පස්සේ ආයෙත් කෝටිනා හොයහොයා දඩාවතේ ගිහින් තවත් ලක්ෂ ගාණකට බයිබායි සුන්දරා කියන්න චන්දු පයිත්තියන් වැඩක් සෙට් වෙන බව දන්න නිසා මම තනියෙන් දුක තද කරන් හිත හදා ගන්නවා. 

මේ තනියෙන් තදකරගැනිල්ල හැමදාම කොරන්න බැරි නිසා මම කෝටිනා පිස්සුව නතර කරගන්න හේතුවක් හෙව්වා. රට වටේ ගිහින් ගෙට එනවා වගේ ඒකට මට ලැබුණේ ලංකාවේ මිනිස්සුන්ට කාර් එපා කරවන්නම නිර්මාණය වෙලා තියන කෝකටත් තෛලංච හේතුවම තමා. මේකට අදාළ සංවාදය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්.

මගේ යාළු මාළුවා - "පාට්ස් නෑ බං..." 

මං මාළුවා - "ෆෝඩ් වලට?" 

යාළු මාළුවා - "ඔවු බං.." 

මං මාළුවා -"ජයවර්ධන එකෙත්?" 

යාළු මාළුවා - "නෑ බං..." 

මං මාළුවා - "හුටා දිල්වාලේ!"

මම කෝටිනා එක මගඅරින්න තව එක හේතුවක් වුණේ අපේ ගෙදර පාකින් ඉඩකඩ සීමිත වීම. යන්තම් ෆොක්ස්වැගන් එකයි මොරිස් මයිනර් එකයි දාගන්න පුළුවන්. සමහර විට තාප්පේ රැස්සොත් මිනියකුත් දාගන්න පුළුවන් වෙයි. හැබැයි කෝටිනා එකක් දැම්මොත් වෙන කාර් එකක් දාන්න මට රිවස් කරන්න වෙනවා. 

ලැජ්ජාවට ඉංග්‍රීසියෙන් කියනවා නම් I suck at reversing... 

ඉතින් බලහත්කාරෙන් හේතු හොයලා සෙන්සිබල් විදිහට ෆියට් 127 වගේ එකකට මාරු වෙනවා වෙනුවට ඒ පාර මගේ හිත කොරෝනා මාක් 2 එකේ ඇලුණා. සතියකට සැරයක් ඉන්ටනෙට් එකේ කොරෝනා එකක් හරි, කොරෝනා පාට්ස් හරි දාන, ජපන් අකුරුවලින් නම් දාගෙන ඉන්න සෙට් එකක් ෆේස්බුක් එකේ ඉන්නවා (මේ කියන්නේ උඹලා ගැන නම් කමෙන්ට් එකක් දාලා පලයල්ලා, ලෝබ නොවී). ඉඳලා හිටලා උන්ගෙන් එකෙක් හරි, නැත්නම් උන් වගේම, ඒත් සිංහල අකුරු ලියන්න පුළුවන් එකෙක් හරි මාතර ආච්චි හදන කැවිලි වගේ පැණි බේරෙන්න හදපු කොරෝනා එකක් බුකියේ දානවා. එතකොට අර මම තදකරන් හිටපු හිත බලාගාර පැත්තට වැස්සා වගේ දොරටු සියල්ලෙන්ම වාන් දානවා. 

බාගෙට ඇඳපු කොරෝනා අක්කියෙක්

ඔය අතරේ දවසක් හිතේ සියලු ආසාවල් සහ දුකවල් එහාමෙහා වෙලා සියල්ල නිසසල වූ එක සන්සුන්, දුර්ලභ මොහොතක, අපි මෙච්චර මස්ටෑං, කෝටිනා, කැප්රි සහ කොරෝනා වලට ආසා ඇයි කියලා මම ඇත්තටම හිතුවා. 

මේ සියලුම කාර් වල තියෙන්නේ එකම ඩිසයින් ලැංග්වේජ් එක. එකම ස්ටයිලින් ට්‍රෙන්ඩ් එක. ඒකට කියන්නේ කෝක් බෝතල් ස්ටයිල් එක හෙවත් 'Coke Bottle Styling' කියලා. මේක 1950 ගණන්වල ආපු, කොකා කෝලා බෝතලයේ ස්ටයිල් එකට සමාන ඩිසයින් එකක්. ඉතාමත් සරලව කිව්වොත් මේවා මැදින් සිහින්, දෙකෙළවරින් ඊට වඩා මහත විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. කොකා කෝලා කියන්නේ ධනවාදයේ ගෝලීය ජයග්‍රහණය ඉතා හොඳට නිරූපණය කරන සංකේතයක් කියන එක අපේ මාක්ස්වාදී සහෝදරවරු නිතර කියන දෙයක්. කර්නල් ජෝන් පෙම්බර්ටන් ගේ මෝෆීන් ඇබ්බැහියට ප්‍රතිකාරයක් විදිහට, ඖෂධීය පානයක් කියලා බොරු කියලා 1886 දී මාකට් එකට දාපු දෙයක් මල්ටි මිලියන් ඩොලර් බිස්නස් එකක් වෙලා අන්තිමට ඒකෙ බෝතලේ ස්ටයිල් එක ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රියටත් නාමිකව හරි ඇතුළු වුණු හැටි බලනකොට, සමහර විට ඒක ඇත්ත වෙන්න පුළුවන්. 


කෝක් බෝතලේ විකාශනය

මේ විදිහට කෝක් බෝතල් ස්ටයිල් එකට ඩිසයින් වෙච්ච කාර් මොනවාද කියලා බැලුවොත් අපට පේනවා මස්ටෑං එකට අමතරව ශෙව්රලේ කමාරෝ, ෂෙවෙල්, කෝවෙයාර්, ඩොජ් චාජර්, චැලෙන්ජර් වගේ කාර් ලෝකේ චොප්පේ අයියලා ටික මෙතන ඉන්න බව. අන්න එතකොට තමයි කොස් ගෙඩියක් ඔළුවට වැටුණා වගේ යථාර්ථය ඔළු කට්ට කුඩු කරගෙන පතබෑවෙන්නේ. 

ලංකාවේ මස්ල් කාර් අඩුයි. තියන ටික තියෙන්නේ ලොකූඌඌඌඌඌඌඌඌඌඌඌ සාක්කු තියන අය ගාව. මස්ටෑං නැති ගෙදර කනයා පණ්ඩිතයා විදිහට ආපු කැප්රි එකේ පොළොවට පාත්වෙච්ච දිරච්ච ලඩියකට පවා අද පොරවල් බඩ පපුව දාලා යන ගණන් ඉල්ලනවා. ප්‍රියංකා චොප්රා නැතිවුණාම අපි කරන්නේ ප්‍රියංකා සිල්වාගේ පස්සෙන් යන එක. අපිට මස්ල් කාර් නැතුව මස්ල් කාර් ෆීලින් එක ගන්න අද ඉතුරුවෙලා තියෙන්නේ කෝටිනා මාක් 3 එකයි, කොරෝනා මාක් 2 එකයි විතරයි (නිකං ඒවා නෙමෙයි, GT කියලා ඔයාලා කියාවි. මම ඒක දන්නවා බ්‍රදර්).


කෝටිනා පිස්සන්ට දෙමවුපියොත් අමතක කරවන බැජ් එකක්

දැන් මෙහෙම කිව්වයි කියලා මාත් එක්ක තරහ වෙන්න එපා. මමත් ප්‍රියංකා සිල්වා පස්සෙන් යන එකෙක්. දයානන්ද අයියගේ ගරාජ් එකට එකපාරක් Vinyl roof එකක් තිබුණු කෝටිනා 2000 E එකක් ආවා. මම කෝල් එකක් දීලා කෞශිට කිව්වා පුළුවන් නම් කලින් එන්න කියලා. ඊට පස්සේ ආනන්ද අයියගේ ගරාජ් එකට කොරෝනා එකක් ආවා. ඒකෙ ෆොටෝස් වැඩ දාලා එඩිට් කරන්න ගිහින් මම රාජකාරිත් අතපසු කරන්නැති. ඊටත් පස්සේ ලේත් එකට තව නිකං කෝටිනා එකක් ආවා. ඒකෙ විස්තර අහන්න මම ලේත් එකේ මනුස්සයාගේ කාලේ කෑවා. අර කාබාසිනියා ඉලෙක්ට්‍රීෂියන් ගාවට සුදු කෝටිනා එකක් ඇවිත් තිබුණා. මම බීට්ල් එක ස්ලෝ කරලා, අයිතිකාරයට අතවනලා, රැඟුමක් රඟලා ගියේ. හෙට ඔය දෙකෙන් එකක් මට දරන්න පුළුවන් ගානට, යන්න පුළුවන් තැනක, ගන්න පුළුවන් දවසක සෙට් වුණොත්, මගේ ගිණුමට අබ සරණයි! 

නොම්මරේ මැකීම ගැන සමාවෙන්න.

අනිත් අය එක්ක කතාකරන වෙලාවට අපි සාන්තුවරු වගේ හැසිරුණාට, පාරට බැස්සම තමයි අපේ ප්‍රයිමෝඩියල් යක්කු පොලු මුගුරු අරගෙන අඟුරු ගාගෙන 'අම්මට...' කියාගෙන එළියට බහින්නේ. ඉතින් යක්කු එළියට එන වෙලාවට මරුටියක හරි ඇල්ටෝ එකක හරි හිටියොත් යකා ගහන්න කලින් අපි මැරෙන්නේ ලැජ්ජාවට. 

ඒ නිසා මස්ටෑං එක හරි ඩොජ් චාජරේ හරි මතක් වෙනවනම් හැත්තෑ ගණන්වල අඩුවට ආපු, පාට්ස් අඩු, කොළඹ ට්‍රැෆික් අස්සේ හසුරුවන්න අමාරු, මහ ලොකු කැරැට්ටුවක් නොතිබිච්ච කාර් එකක් හරි කමක් නෑ. අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ ලද පමණින් සතුටු වෙයල්ලා කියලා. 

දඩ වීල් සෙට් එකක් දාලා, ගියර් නොබ් එකේ ප්ලාස්ටික් මිනී ඔලුවක් ගහලා, ඩුප්ලිකේට් රෙකාරෝ සීට් ඔබලා, ඩුප්ලිකේට් මොමෝ ස්ටියරින් වීල් එකක් ඇනලා, බොනට් එකේ රේසිං ඉරි ගහලා, හත්පොලයගෙ හොඬේ වගේ සයිලන්සරයක් පූට්ටු කරපු කෝටිනා එකකින් ඔලුව එළියට දාලා, 'කවුද ... ඩ්‍රයිවින් ඉගැන්නුවේ?' කියලා අහනකොට එන ගැම්ම කටුකුරුන්දේ ලේසර් පැදලා ගන්න බෑ මහත්තයෝ... 


www.facebook.com/CarPissuwa


පසු සටහන්: 

1. මස්ටෑං එක පස්සෙන් ගිය සීන් එක මතක් වුණේ ඩූඩ් අයියත් එක්ක දාපු කතාවකට පස්සේ. ඒ නිසා උන්දැටත් තෑන්ක් යූ පාරක් යා යුතුයි. 

2. කෝක් බෝතලේ විකාශනය හැරෙන්න අනික් ඔක්කොම ෆොටෝ මම ගත්තුවා. 

3. කොරෝනා හෝ කෝටිනා පාවිච්චි කරන අයට කිසිදු අවමානයක් කිරීමේ අදහසක් මේ ලිපියේ නැහැ. ඒ නිසා ලිපිය උඩින් පල්ලෙන් කියවලා විකාර කතා නම් කියන්න එපා.

27 comments:

  1. මචෝ අපේ සජ්ජාගෙ පඩංගුව ලියන සජ්ජා ගාව කෝටිනා එකක් තියනවා මගෙ මතකෙ හරි නං..

    ReplyDelete
    Replies
    1. අඩේ තෑන්ක්යූ... අහලා බලන්න ඕනා...

      Delete
  2. Mama thamath ape Seeyage Cortina GXL eka hoyanawa. 7 sri 3194 .Kola paata 2000cc car eka. MAge car pissuwata mula oya car eka thamai. Kawruhari dannawanam kiyanna

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සුව FB පේජ් එකට ඇවිත් කතාව කියලා දාන්න. කට්ටිය උදවු කරාවි.

      Delete
  3. යකෝ පිස්සු වට්ටන්න එපා හොදට ඉන්න අපිව................

    ReplyDelete
    Replies
    1. වැදුණා නේද බොක්කටම? :D

      Delete
  4. Gone in 60 Seconds ෆිල්ම් එක බලපු දවසේ ඉදල 70s mustang එක ගැන පිස්සුව තියෙනවා.ඒක ඉතිං හැබෑ කරගන්න අමාරු හීන ගොඩට දාල හිත හදාගෙන ඉන්නේ.බීට්ල් එක ගනිද්දීත් උඹ ඕකට පාර්ට්ස් හොයන්නේ කොහෙන්ද කියල අහපු යාළුවොත් හිටියා.ඒ කතා ඇහුවා නම් මට ඒ හීනෙවත් හැබෑ කරගන්න ලැබෙන්නේ නෑ...
    Reverse එක ගැන කියද්දී නම් මම මෙච්චර කාලෙකට එකම වතාවයි ඇනගත්තේ.එකත් හයිවේ එකේ resting area එකේදී.ටිකක් විතර රස කතාවක් හන්දා එකත් එකතු කරන්නම්කෝ...දිගටම බීට්ල් එකේ ගිහින් මුලින්ම දැන් පාවිච්චි කරන කොරොල්ලා එකේ ගිය දවසේ.මම resting area පාර්ක් කරන්නෙම යන්න ඕනි පැත්තට මුහුණ දාලා reverse ඒකට අරන්.බීට්ල් එකේ පස්සේ රෝද දෙක අර මැදින් ගස් එහෙම හිටවල තියෙන කොටසේ බැම්මේ වදින්නම reverse කරන්නයි පුරුදු වෙලා හිටියේ.එදත් මම එහෙම රෝද දෙක වදිනකල් බලාගෙන reverse කළා.එහෙම යද්දී මට දැන් පේනවා center mirror එකෙන් කාර් එක පිටිපස්සේ තිබ්බ ගහ හෙලවෙනවා.කිසිම කෙනෙක් එතන හිටියෙත් නැති හන්දා මම තව ටිකක් පස්සට ආවා.අන්තිමේ ගහ center mirror එකෙන් නැති වෙලා ගියාම තමයි මට වැඩේ මීටරේට වැටුනේ.කොරොල්ලා එක වැගන් එකක්.ඉතිරි ටික හිතා ගන්න පුළුවන් ඇති මම හිතන්නේ. :D
    පී.ඇස්. : ගහ නම් තවම තියෙනවා..පොඩි හිරීමක් එක්ක..

    ReplyDelete
    Replies
    1. පුදුමේ කියන්නේ මටත් එකපාරටම හිතුණේ අම්මටසිරි ගහට මොකද වුණේ කියලා :D

      Delete
  5. මම දැකලා නෑනෙ ලංකාවෙ ෆෝඩ් මස්ටෑං තියෙනවා. මගෙ පළවෙනි කාර් එක 1969 ෆෝඩ් මස්ටෑං එකක් කියලා උඹ දන්නවද? ෆෝඩ් කැප්‍රි වලට අපි ඉස්සර කෙල හලනවා. උඹ දන්නැතුව ඇති සතුට පත්තරේ ගියා චිත්‍රකතාවක් ජනක රත්නායකගේ අත්තික්කා මල් කියලා. ඒකෙ කොල්ලට තියෙන්නෙත් ෆෝඩ් කැප්‍රි එකක්. ඒකෙ බොඩියේ ඒ දවස්වල ස්ටයිල් එකට Deep Purple, Underground වගේ දැවැන්ත ස්ටිකර් ගහලා. කැප්‍රි වල ජනප්‍රියත්වයට ඔය කතාවත් බලපාන්න ඇති. කොහොමත් අපි දැක්ක දා ඉඳලා කැප්‍රි එකට ලව්.
    ලංකාවෙ කැප්‍රි වලට වඩා තිබුනේ කෝර්ටිනා.
    මම කැප්‍රි එකක් ගන්න ගියා මගෙ දුවත් එක්ක එයා ඉස්කෝලෙ ඇරිලා එනගමන්. දෙන්න බයික් එකේ යන්නේ ඒ කාලෙ. බො‍රැල්ලෙ ඒක තිබ්බෙ. මේක දැක්ක ගමන් කෙල්ල අඬ අඬ කිව්වා අනේ ඒක නම් ගන්න එපා කියලා. ඒකෙ පේන්ට් එක කන්ඩිෂන් හෙම හොඳ නෑ. ඒක කැතට තමයි පෙනුනෙ. එයා ඊටත් ඇඩිය බය වුනේ ඒකෙ බොනට් එකේ දිග වැඩි හන්දා ඒක අපේ වත්තර එක පාර හරවා ගන්න පුලුවන් වෙයිද කියල හිතලලු. :D

    ReplyDelete
    Replies
    1. ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා යකෝ. අර මගෙ පලවෙනි කාරෙක මස්ටෑං එක සෙල්ලං එකක් කියලා කියන්න.

      Delete
    2. නෙද්දකිං... මම හෙන දිග වික්ෂිප්තතා ප්‍රකාශයකුත් කෙටුවා දෙවෙනි කමෙන්ට් එක දකින්න කලින්...!!!

      අත්තික්කා මල් ගැන අහලා තියනවා, කියවලා නෑ.

      එදා ඔයා කැප්රි එක ගත්තනං අද කොහොමද!

      Delete
  6. මම ඉස්කෝලේ යන කාලෙමයි මට කෝටීනා පිස්සුව සෙට් වුනේ (මීට අවුරුදු 10-12 කට කලින්).. ආනන්දේ සර් කෙනෙක් ගාව තිබ්බ නිල් පාට කෝටීනා එකක්... වැඩි අනන් මනන් නැහැ ඔරිජිනල් පිටම තිබ්බා... කිරි ටොයියා කන්ඩිශන් එකේ, කලු ලෙදර් සීට් එහෙමත් තිබ්බා... ඔහොම කාලයක් ගිහිල්ලා, පස්සෙ ඒ කාර් එක බත්තරමුල්ලේ කාර් සේල් එකක දැක්ක ඒ ලෙවල් ලියන කාලේ 2006 වගේ (පන්ති යනකොට දෙහිවලින් නැගල 163 වම් පැත්තෙන් කොහොම හරි සීට් එකක් හොයා ගන්නව වන්ඩිය බලන්නම)... කාලයක් තිබ්බා කර් එක විකිනෙන්නෙම නැතුව වගේ.. අනේ ඉතින් එක දවසක කාර් එක තිබ්බෙ නැහැ කියපියකො... පස්සේ කාලෙක රස්සවක් එහෙම කරන්න පටන් අරං ලක්ශයක් හමාරක් එකතු කරගන්න පුලුවන් වෙච්ච කාලෙක මම ගිය ඔය කියන කාර් සේල් එකට, සේල් අයිතිකාරයගෙන්ම ඇහුවා මීට අවුරුදු 5-6 කට කලින් තිබ්බ කෝටීන එක ගැන හෝඩුවාවක්වත් හොයා ගන්න... කොහෙද... ඒ මනුස්සයට මතක නැහැ එහෙම කාර් එකක් තිබ්බද කියලවත්...

    ReplyDelete
    Replies
    1. මටත් තිබ්බ කිසරු ඔය වගේ කාර් එකක්. ඒ කිව්වෙ මම බස් එකේ සීට් තියෙනව නම් අදාල පැත්තෙ ඉඳගන්නවා. නැතිනම් හිටගෙන යනවනම් ඒ පැත්තෙ හිටගන්නවා මගෙ ගොල්ෆ් එක බලන්න. දවසක් ඒක විකිණිලා තිබ්බා. හයියෝ

      Delete
    2. කිසරු ගේ කතාව මම දැක්කේ දැන්. මම ඔහොම කෙළ හලලා තියනවා මොරටුවේ ගාලු පාරේ තිබිච්ච ඕපල් එකකට. ඒක යන්න ගිහින් තිබුණු දවසේ මට මාර දුකක් ආවා මතකයි.

      Delete
  7. මරුනෙ. ඔය තියෙන්නෙ නියම වණ්ඩි ටිකක්.
    අපිනං ඉතිං ඕව දිහා බලාගෙන කොකා කෝල බෝතලෙකින් සැනසෙනව. හැක්..

    මොකද කියන්නෙ ලොක්ක තා‍ප්පෙ ගලෝල දාල ගම්මුද තව කාර් එකක්.

    ReplyDelete
    Replies
    1. සුපුරුදු විදිහටම බොහෝම ස්තුතියි ප්‍රතිචාරෙට... මේ දවස්වල හිතමින් ඉන්නේ එකක් විකුණලා තව ප්‍රොජෙක්ට් එකකට යන්න. ඒ වුණාට කාර් දෙක දැක්කම දෙන්න හිත හදාගන්න බෑ අප්පා! මෙහෙම ගියොත් නම් රහින්නම වෙනවා :D

      Delete
  8. eeta wada honda revers purudu unanam!

    ReplyDelete
    Replies
    1. lol. නෑ මම බීට්ල් එක දෙනවද කියලා කාලෙක ඉඳන් හිතහිතා හිටියේ තිළිණ. ප්‍රොජෙක්ට් එකක් නැතුවාම හෙන අවුල්. අනික් අතට ඉම්ප්රෙසා එකක් ගන්නවද කියලත් මම හිතුවා. කොහොම වුණත් මේ දවස්වල ඊළඟ පියවර ගැන හිතමින් ඉන්නේ...

      Delete
  9. මොනවද මස්ල් කාර් කියන්නෙ.මොකක්ද අනික්වයින් වෙන් වෙන විශේෂත්වය ?

    ReplyDelete
    Replies
    1. පර්ෆොර්මන්ස් වැඩි cc ගාන වැඩි එන්ජින් තියන, බොහොම ආකර්ෂණීය, ඇමරිකානු කාර්. මේවා අර ජිම් ගිහින් මසල් පුම්බන් අනික් අයටත් ඒ මස්ල්ස් පෙන්න පෙන්න ඉන්න අයට සමාන කරන්න පුළුවන්. මස්ටෑං එක, ෂෙවෙල් එක, හෙමිකූඩා එක, කමාරෝ එක මේ ගොන්නට දාන්න පුළුවන්. සමහරු තර්ක කරනවා මස්ටෑං එක පෝනි කාර් ගොඩට විතරක් අයිතියි කියලා. නමුත් පොදුවේ ඇමරිකන් මසල් ගැන කතාකරද්දී හැමෝටම මුලින්ම මතක් වෙන්නේ මස්ටෑං එක තමා...

      Delete
  10. මමත් හරි ආස කාර් එකක් තමා ඔය Mark II එක. පිස්සු හැදෙනවා දැක්කම. කොටිනා කැප්‍රි මස්ටෑංග් වලට වඩා මම ඒකට ආස ජපන් වාහන එක්ක මගෙ තියෙන මෙව්ව එක නිසා :p . ලාන්සර් ෆ්ලැට් ලයිට් එකත් ඔය වගේම තමා බොඩි ශේප් එක නම්. සයිස් එකෙන් පොඩීනෙ ඉතින්. ඇමරිකන් මස්ල් වලින් නම් මම ආසම Pontiac firebird එකට. මුල සිට අග දක්වා ආපු හැම මොඩ්ල් එකකටම කැමතියි. ඊට අමතරව ඉතින් Plymouth roadrunner & Plymouth Barracuda තමා. අපේ පෙර කරුමෙකටද මන්දා අපිට ඇමරිකන් වාහන දකින්න වෙන්නෙ ෆිල්ම් වලින් විතරයි ඉතින්

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි සිතිර. මමත් කාලයක් ෆ්ලැට් ලයිට් එකට ආසාවෙන් හිටියා.

      ඇමරිකන් කාර් ඔය මෝටර් ෂෝ එකේදී එහෙම දැක්කම තමයි හීල්ලෙන්නේ නේද? :)

      Delete
    2. කියලා වැඩක් නෑ. ලංකාවෙ තියෙනවා කැමාරෝ එකක් 6 ශ්‍රී 6000. තව ෆයර්බර්ඩ් එකකුත් තියෙනවා මම හිතන්නේ. 5 ශ්‍රී මස්ටෑංග් එකයි. තව 1969 කෝවෙට් එකක පින්තූරයක් දැක්කා වගේ මතකයි... ඒ පරණ මස්ල් වල තිබ්බ ගතිය නෑ අලුත් එව්වයෙ :/

      Delete
    3. කියලා වැඩක් නෑ. ලංකාවෙ තියෙනවා කැමාරෝ එකක් 6 ශ්‍රී 6000. තව ෆයර්බර්ඩ් එකකුත් තියෙනවා මම හිතන්නේ. 5 ශ්‍රී මස්ටෑංග් එකයි. තව 1969 කෝවෙට් එකක පින්තූරයක් දැක්කා වගේ මතකයි... ඒ පරණ මස්ල් වල තිබ්බ ගතිය නෑ අලුත් එව්වයෙ :/

      Delete
    4. මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක් ගාව තිබුණා අලුත් කමාරෝ එක. වාහනේ නම් දැක්කම හීල්ලෙනවා. හැබැයි ඉලෙක්ට්‍රොනික් වැඩකිඩ ටික සංකීර්ණ වැඩියි.

      Delete
  11. දන්න විදියට නම් මස්ටැන්ග් එක සිරස අයිති මහා රාජගෙ.. ඒක ඉස්සෙල්ලම පැදපු ඩ්‍රයිවර් අන්කල් (දැන් 70 විතර) අපෙ ගෙවල් පැත්තෙ ඉන්නව..

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete